Thursday, March 19, 2020
මම නැවතත් ප්‍රේම කරමින් සිටිමි.
මම නුඹේ සියළුම අහංකාරකම් වලටත්, දඩබ්බර කම් වලටත් අසීමාන්තිකව ප්‍රේම කලෙමි. නුඹ දෙස බලන විට මට හමු වන ඇස් වල මම ආදරය දුටිමි.
නුඹ මා එපා යැයි පැවසූ, මා අතරමං කල, මා හැර ගිය, ඒ සියළුම දින වලට මා තවමත් ප්‍රේම කරන බැව් සැබෑ ය. මම නුඹ වෙනුවෙන් නොකා නොබී ඉතිරි කල මුදලින් ගත් තෑගි බෝග පවා නුඹ ප්‍රතික්ෂේප කලේ ය. එහි කිසිදු ආදරයක් නොතිබුණි. නමුත් නුඹ කෙරෙහි වූ ආදරය එහි ඕනෑවටත් වඩා තිබුණි.
අන්තිමේදී, ඒ අවසානය පැමිණියේය.
එය මට නුඹෙන් පැමිණි අවසාන ඇමතුම බව මම එය පැමිණ මාසයක් ගත වන තෙක් ම දැන නොසිටියෙමි. මට මතකය..
"අපි ආයෙ ඒ පාරෙදිම හම්බෙයි.."
ඉතින්, අපි ඒ පාරෙදිම ආයෙත් හමු වීමු. නුඹ කීවා හරි ය. හැතැප්ම ගණනාවක් දුර සිට වුවද මට නුඹ හඳුනාගත හැකි ය.. නමුත් මම නුඹට නොපෙනෙන්නට මගේ ප්‍රේමය ඒ වන විටත් විසි කොට දමා අවසන් ය. එහි අප සිව් දෙනෙකි. නුඹේ අතින් අල්ලාගෙන උන් ඇය දෙස බලා සිටි මට, මා තුරුළු කොටගෙන උන් ඔහු දෙස බලා සිටි නුඹේ ඇස් අහම්බයෙන් හමු විය..
කවමදාකවත් නැතිව මම නුඹේ ඇස් වල ප්‍රේමය දුටිමි. ඒවා බොර පාටට කඩා වැටෙනු මම දුටිමි. නුඹ තැවෙන්නට ඇත. නුඹට කිසිදාක වෙන කිසිවෙකුගෙන් ලබන්නට නොහැකි තරම් වූ මගේ ප්‍රේමය වෙනකෙකු විඳින අයුරු දැක නුඹට හැඬෙන්නට ඇත.. මා නැවතත් ප්‍රේම කරමින් සිටින බැව් දැක නුඹ විඳවන්නට ඇත..
ඉඳින් අදටත් ඒ දිනය මට අඳුරු දිනයකි. නුඹගේ සියළුම දඩබ්බරකම් මට මතකය. ඒවා ප්‍රේමණීය ය. නුඹේ රළු වචන පවා මගේ සුන්දරතම ප්‍රේමයේ මතක සටහන් ය..
ඉඳින් සොඳුර.. ඇත්ත ය. මා නැවතත් ප්‍රේම කරමින් සිටිමි.
නුඹටම...
-නෙත්මි යශෝධා-
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment