මේ මතකයි මට උඹව දැකපු දවස,
වෙන අයට වඩා උඹ ටිකක් කැපී පෙනුනේ මට සංසාරගත හමු වීමක් වගේ මැණික,
උඹ පස්සෙන් කොච්චර ආවත් උඹ මාව ගනන් ගන්නේ නැති වෙනකොට
දමල ගහලා පැත්තකට වෙන්න හැදුවත් හිත කිව්වෙම උඹ මගේ විතරයි කියලා,
ඒ හින්දම කට්ට කාලා කාලා මම උඹව මගේ කර ගත්තා,
උඹ දන්නේ නැති උනාට උඹට කිව්වේ නැති උනාට,
උඹගෙන් ඈත් වෙලා මම මොහොතක් ඉදියේ නෑ,
වෙනදා කොහේ හරි ඈතකට ගහගෙන යන මගේ හිත නැවතුනේම උඹ ලග විතරයි,
මොකද ඒ තරමට මම ආදරේ කරපු නිසා වෙන්න ඕනි,
සමහර දවස් වලට උඹයි මායි රංඩුවෙලා කතා නොකර ඉන්නකොට මම උඹට කොච්චර කෝල් අරගෙන ඇතිද?
ඇත්තම කිව්වොත් උඹට වඩා මම උඹට ආදරේ කලා,
උඹව බලන්න ඕනි උනොත් මොන ලෝකේ හරි ඉදලා මම එන්නේ උඹටත් මාව නොදැක ඉන්න බෑ කියලා මගේ හිත දන්න නිසා මැණික,
වෙලාවකට උඹ පොඩි එකෙක් වගේ
තව වෙලාවක විශ පොවපු නාගයෙක් වගේ හිතුන හිතුන වචන වලින් හරි හරියට වද්දලා රිද්දනවා හිත,
කොහොම උනත් දරුවෙක් අම්මෙක් බලා ගන්නවා වගේ නැති උනත්,
ඒ තරමට මම උඹව බලා ගත්තා හරි ආදරෙන්,
ඒත් එක පාරටම හෙන ගෙඩියක් කඩා පාත් උනා වගේ,
අර මුලින් දුන්න ආදරේ උඹ පොඩ්ඩ පොඩ්ඩ අඩු කලා,
නෑ අඩු උනා,
අන්තිමට හරි ලස්සනට උඹ යන්නම ගියේ මගේ පැත්තට ඇගිල්ල දිග් කරලා,
ඒකට මම තරහත් නෑ,
මම කවදාවත් වෛර කරන්නෙත් නෑ,
සමහර විට උඹව ගැලපෙන්නේ නැතුව ඇති,
හැබැයි මැණික මේ ගෙන්දගම් පොලොවේ හදන්වත් ගැලපිලා නැතුව තාමත් සතුටින් දීග කාපු,දීග කන මිනිස්සු ඉන්දලා තියෙනවා,ඉන්නවා මැණික,
දැන් වෙච්ච දේවල් උනා,
හැමදාම මම සතුටු උනේ උඹේ හිනාව දැකලා,
උඹේ මූණේ තියෙන ඉරියව් දැකලා,
උඹේ ඔය කච බචේ අහලා,
අපි කැමති අය අපිට කැමතිම වෙන්න ඕනි කියලා
අපිට ලැබෙන්නම ඕනි කියලා ලබ්බක් නෑ
උන් කාත් එක්ක හරි සතුටින් ඉන්නවනම් ඒ ඇති හොදටම,
උඹ දන්නේ නැති උනාට දුරින් ඉදගෙන උඹත් එක්ක ගෙවුනු හැම තත්පරෙන් තත්පරේ මතක් කරලා,
සතුටු වෙන්න මට පුලුවන්
මොකද මම උඹට අවංකවම ආදරේ කරපු නිසා,
දුරින් ඉදන් ආදරේ කලාමත් ආදරේ හරි ලස්සනයි මැණික උඹ දන්නේ නැති උනාට,
දැන් මම කරන්නෙත් ඒක,
හැබැයි,
කවද හරි දවසක මම උඹව අමතක කරනවා,
අර උඹ ගහෙන් ගෙඩි එන්න වගේ මාව අමතක කලා වගේ නෙවෙයි,
ටික ටික,
චුට්ට චුට්ට,
ආයේ උඹව මතක් නොවෙන්නම,
උඹ හිතන්න එපා මම ඒ ගැන හිත හිත ජීවිතේ නන්නත්තාර කර ගනී කියලා
අමතක කරන්න එපා උඹවත් ඇදගෙන මම දිව්ව දිවිල්ල කොහොමද කියලා,
එහෙව් එකේ මට පුලුවන් තනියම දුවන්න,
උඹේ මතකයෙන් මිදෙන්නමම් හොදම විදිය තමා හති වැටෙන්න වැටෙන්න දුවන එක,
ඔව් බිසී වෙන එක,
අහා තව එකක්,
හැමදාමත් තනියම දුවන්නේ නෑ,
තව මම වගේම දුවන එකෙක්,
මම වගේම දුවලා හති වැටිච්ච එකෙක්
හම්බවෙනකම්,
මාත් දුවනවා ජීවිතේ හිනිපෙත්තටම යනකම්....
උඹ ගියේ නිකම්ම නෙවෙයි මැණික
ජීවිතේ ගැනත් කියලා දීලා,
ගොඩක් ස්තූතී උඹට...
-ඩිශාන් කෙවිටියාගල ❤️
No comments:
Post a Comment