Pages

Sunday, January 13, 2019

කදුළු කතාවක්..😢😢

වෙනදට වඩා අම්මට වාසීයක් වෙලා කියන්න පුළුවන් තරමට බඩු ටිකකුත් අතින් කටින් එල්ලගෙන අම්මා ගෙට ගොඩ වුණා.මගේ කකුල් දෙක උඩ පාංකඩ කොට්ටේ නිදාගෙන ඉන්න නංගි දිහා බලලා

"අනේ කෙලි පැටික්කී හාමතේම නිදාගෙන"

කියලා දිග හුස්මක් හෙලුවා..

මං රෑට පොරවන චීත්ත රෙදි කෑල්ල ඉරිච්ච පං පැදුරෙන් එලලා නංගිව පරීස්සමින් එතනින් තියලා ඉක්මනටම හැරුණෙ අම්මා ගෙනාපු මල්ල පැත්තට..

" කොහෙන්ද අම්මේ මේවා..."

මං පුදුමයෙන් අම්මගෙන් අහද්දි අම්මා ඇහෙන් නැති විදියට හිටියා.

"අද යසා නැන්දා අම්මට සල්ලී දුන්නද..?"

මං මල්ලේ තිබුන කිරි පැකට් එක අතට අරගෙන ආයෙමත් අම්මා දිහා බැලුවා..

"යසා දීපූ සුල්ලියක් නෑ බං..මං ගියා අද ගල් වලට..තොපේ මහ එකාගේ පඩිය මහත්තයගෙන් ඉල්ලගෙන ආවේ.."

අම්මා කියපු ඒ ටිකටනම් මට හී ගෑ වුණා.

තාත්තා කියන්නේ මං මේ ලෝකේ වැඩිපුරම බය කෙනා..අර හොල්මන් කතා වල ඉන්න දත් ඇදිච්ච ලේ පෙරා ගත්ත මහසෝනටවත් මං එච්චර බය වෙලා නෑ.

"ඇයි තෝ බීරන් තට්ටු වෙලා..මහ එකා හොයන ඒවයෙන් බීලා නාස්ති කරන්න දෙන්නෙ කොහොමද...?තොපි දෙන්නා ඉද්දී.."

අම්ම එහෙම කියලා මගෙ අතේ තිබුන මල්ල උදුරගෙන ක්රීම් බනිස් ඩබලක්ම මගේ අතේ තිබ්බා..
මෙච්චර වෙලා තිබුන බඩ ගින්න වෙනුවට හේතුවක් නැති බයක් මට දැනුනා..තව ටිකකින් තාත්තා ආවොත් මොන වගේ දෙයක් වෙයිද කියලා හිතද්දී මගේ මහපටගිල්ලේ ඉදලා මුළු ඇගම හීතල වෙලා ගියා.
අම්මා හදලා දුන්න කිරි එක උගුරු දෙකට බීලා දාන්නේ දැනුන බයට උගුර කට වේලීලා නිසාමයි.

"දැන් ඉක්මනට නිදාගනින් අර පැදුරු කෑල්ල එලාගෙන..මහ එකා එන්න කලියෙන්.."

අම්මා එහෙම කියන්නේ අද අම්මා කරපු වැඩේට තාත්තට තරහා ගිහින් ඇති කියලා දැනුන නිසා.
නිදි මතක් ගෑවිලවත් නැති උනත් මං පැදුරු කොටේ එලාගෙන මේසේ අයිනෙන් ඇල වුණා.

ටික වෙලාවකින් කුණුහරප කියාගෙන ගෙට ගොඩ වෙන්නේ තාත්තා..මං අත් දෙකෙන්ම කණ් දෙක වහ ගත්තා.අම්මගෙත් සද්දයක්වත් නැති තැන තාත්තා අම්මට යයින් පාරක් ගැහුවා. මං ඉරුණු චීත්ත හිලෙන් බලාගෙන හිටියා.

"නැගිටපිය පට්ට වේසී.."

ඒ සද්දෙට ඇහැරුණු නංගි බය වෙලා අඩද්දි අම්ම නංගිව තුරුල් කරගත්තා..

"තෝ අද මොකද්ද කරේ..? කියපිය..."

එහෙම කිය කිය තාත්තා අම්මගේ කොන්ඩෙන් ඇද ඇද අම්මට තලද්දි අම්මා අතේ ඉන්න න්ංගි හයියෙන් කෑ ගගහා ඇඩුවා..
කිසිම දෙයක් කරගන්න බැරි මාත් ඉරිච්ච චීත්ත පොට හපාගෙන මේසේ යටට වෙලා ඇඩුවා..

එකපාරටම තාත්තා අම්මව අත ඇරලා කුස්සිය පැත්තට දිව්වා.මං හිමීට අම්මා අස්සට රිංගද්දී

"අනේ මයෙ පුතේ උඹ දුවපං..ඉක්මනට දුවපං.."

කියලා අම්මා මාව තල්ලු කරා.මං ආයෙමත් අම්මගෙ අස්සට රිංගුවා.
මගේ ඉරිච්ච බැනියමෙන් ඇදලා අම්මා

"තොට කියන දේ තේරෙන් නැද්ද...දුවපිය.."

අම්මා ආයෙත් මාව තල්ලු කරපු නිසා මං ගෙයින් එලියට දුවලා උළුඅස්ස ලග නතර වෙලා පිටිපස්ස හැරෙද්දිම තාත්තා මන්නෙත් අතේ තියාගෙන අම්මගේ පස්සහ හිටගෙන ඉන්නවා මං දැක්කා.
ඒ වෙනකොටත් අම්මගෙ තුරුලේ ඉකි ගගහා හිටපු නංගිව එක අතකට අරගෙන මන්නෙන් පාරක් ගහනවා මැටි බිත්තියට හේත්තු වෙලා හිටපු මං දැක්කා.මං තදින්ම ඇස් දෙක පියා ගත්තා..නංගිගේ ලේ මගේ මූණටත් විසි වුණා.
ඊට පස්සේ ආයේ නංගිගෙ ඉකිය ඇහෙන් නැතිව ගියා.
අම්මා ලේ විලක් මැද ඉන්න නංගිව බදාගෙන ඔලුවෙ අත් දෙක ගහගෙන අඩද්දී තාත්තා වටපිට බලනව..

"කෝ අරූ..කෝ ඕකා..."

එහෙම කිය කිය තාත්තා හොයන්නේ මාව කියලා මට හිතුනා.මං බොද වෙච්ච ඇස් ඇරියේ පුදුම බයකින්.

අම්මා වට පිට බල බල

" අනේ පුතේ දුව.."

කියද්දිම පිහි පහරක් කියන්න පුළුවන් තරම් හඩක් මට ඇහුනා.ඊට පස්සේ ආයේ අම්මගෙ හඩත් මට ඇහුන් නෑ.

මහ දබ වැස්සෙම මං උපරිම වේගෙන් පාර දිගේ ටව්ම පැත්තට දිව්වා..දුවලා දුවල හති වැටුන නිසා නවතලා තිබුන කාර් එකකට හේත්තු උනා.ඒ කාර් එකේ අතිකාරයා කියලා හිතන්න පුළුවන් කෙනෙක් මගේ ඉස්සරහට ආවා.මං එතකොටත් හති දානවා.ඒ මනුස්සයා හෙමිහිට පාත් උනා.මං හිතුවේ කාර් එකේ හේත්තු උනාට බනී කියලා.
ඒත් ඒ මාමාට තිබුනේ හරි පිං පාට මූණක්..යාන්තමට හිනා වෙලා මගේ වතුර බේරෙන ඔලුව අතගාලා

"කොහෙද පුතා ඔයා මේ හති දාගෙන දුවන්නේ ඇහුව."

මං මොකුත්ම නොකිය වෙව්ල වෙව්ල ඉද්දි ඒ මාමගේ කෝට් එක ගලවල එයා මගේ ඇගේ එතුවා..

"දැන් පුතාට කොහෙටද යන්න ඕනී..මං ගිහින් දාන්නම්.."
කියලත් කිව්වා..

"මට යන්න තැනක් නෑ.."
මං අමාරුවෙන් වචන ගලප ගත්තා.

ඊට පස්සේ තමයි ඒ මාමා මාව ඒ මාමාගේ ගෙදර එක්ක ගියේ..එහෙත් හිටියා මගේ නංගි වගේ ඊට ටිකක් ලොකු නංගි කෙනෙක්..එයා ඒ මාමට කිව්වේ අප්පච්චී කියලා..ඉතින් එයා නිතරම මටත් කිව්වා ඒ මාමාට අප්පච්චී කියන්න කියලා..
ඒ නිසා මාත් දැන් එයාට අප්පච්චී කියන පුරුදු උනා..

ඉතින් ටීච ටීචම දැන් කියන්න අප්පච්චීයි තාත්තයි කියන්නෙ සමාන පද වෙන්නේ කොහොමද..?

තාත්තෙක් නැතුව අප්පච්චී කෙනෙක් හිටියනම් අද නංගීටයි අම්මටයි මාත් එක්ක ඉන්න තිබුණා නේද...?

මං එහෙම අහද්දි ටීච අහක බලා ගෙන ලේන්සුවෙන් මූණ පිහිනවා මං දැක්කා..අර අධ්යාපන කන්තෝරුවෙන් ආපූ සර්ලා දෙන්නත් බිම බලා ගන්නවා මං දැක්කා..

කියවල අදහසක් දක්වලා යන්න..උපුටා ගැණීමකදී මගේ නම අනුවාරයෙන්ම ඉතිරි කරන්න..❤️❤️

නදී තේනුවර
 

No comments:

Post a Comment