Pages

Wednesday, January 9, 2019

ලස්සනම කෙල්ල


මම ඉස්කෝලේ හුන් කැතම කෙල්ල බව මට හරියටම තේරුම් යනවිට මම එක්කෝ අට වසරේය එක්කෝ නවයේය.පොඩි සන්ධියේ චීස් බෝලය වගේ උන් සුදු නංගී , කිරියා ලෙස හඳුන්වනු ලැබූ මම කවදා පාත් උණ හෙණ ගෙඩියක් නිසා කෙට්ටු වී ගියාදැයි මමවත් නොදනිමි.

මට ආසා ලොකූ ඇස් තියෙන පුංචි කටක් තියෙන
කෙල්ලක් වන්නටය..දෙයියොත් කරන්නේ මහාම කොයිල් වැඩය..මා මවා තිබුණේ පුංචිම පුංචි ඇස් දෙකක් සහ ලොකූ කටක් එක්කය..ඒත් ඔවාට දුක් වෙනවාට වඩා මට ඒ කාලේ පැටිරීශියා මිස්ගේ සයන්ස් හෝම් වර්ක් නිමකර පහුවදා ගුටි කෑමෙන් බේරී සිටීම වැදගත් වී තිබිණි..එනිසාම ලොකුවට දුක් වෙන්නට වෙලාවක් නොවිණි..අනික ඕවායෙන් පසු බට නොවුනු මම අර ලොකුම ලොකු කටෙන් එකක් පිරෙන්නට හිනාවෙන්නටත් අර පොඩිම පොඩි ඇස් දෙක නටෝ නටෝ කතාකරන්නටත් ඇරඹුවේ ඔය කී පාසැල් අවධියේමය.

වෙඩින් එකකට ගියා කීවොත් හැමෝම අහන්නේ "මනමාලි ලස්සනයිද" කියාය.. මනමාලි හොඳයිද අහන්නට කෙනෙක් නැත. "අරූට ඉන්නවා පට්ට කෑල්ලක් " කියන්නට මිස "අරූගෙ කෙල්ල හෙන හොඳයි" කියන්නටද කවුරුත් නැත.ඔන්න ඔහොම වෙලාවලට මට පොඩ්ඩක් දුක හිතුනු වග මට යන්තම් මතකය.එහෙම හුචු හුචු ගාන දවස් වලට "තෝ ලස්සනයි ගොනෝ" කියමින් මාව කන්නට ගිය සිංදියාව මේ කැත කෙල්ලට කිසි දිනක අමතක නොවනු ඇත.

එකල මම අපේ ඉස්කෝලේ ඊස්ටර්න් බෑන්ඩ් එකට හෙනම ආසය..ඒ එහි ඇඳුමට විය යුතුය..චීත්ත හැට්ට ඇන්දාම මං වගේ කෝටු කිතයියන්න්ට ලස්සන නැති වග මගේ ගොන් මොලේට වැටහුනේ නැත.නමුත් ඉස්කෝලේ හුන් ලස්සනම කෙල්ලන්ගෙන් නිම උන ඊස්ටර්න් බෑන්ඩ් එකට යනවාට වඩා ලංකාවේ ජනාධිපති වීම පහසු බව එකලම මට අවබෝධ වී තිබිණි..

ඉතින් වෙස්ටර්න් බෑන්ඩ් එකේ මෙලෝඩිකා පැන්චියෙක් උන මම ඉස්කෝලේ උත්සවයක් තියෙන දාට මගෙ චුටි සා කොටය කෝට් එක ස්ටොකින්ස් සහ කෝට් ශුස් ඉක්මනින් පළදගෙන දුවන්නේ ඊස්ටර්න් බෑන්ඩ් එකේ ළමයිව බලන්නටය.උන්ට මල් ගසන්නටය..කොණ්ඩ පීරගන්නට උදවු කරන්නටය..

නැටුම් ගැන ඇත්තේද ඊට සමාන අත්දැකීමකි.මම නටන්නට හරි ආසය.ඒත් මට නටන්නට පුලුවන් ද බැරිද කියන්නටවත් මම අද වෙනකන් නටා නැත.ඩීජේ වල කලුවරේ කැපිච්ච පනුවා සේ දඟලන්නට මිසක් දොමි කිත කිත දොම් කියන්නට කවදාවත් මට ලැබී නැත.සමහරක් විට මා ගැලපෙන්නේ රූකඩ නටන්නට පමණක් නිසාද විය හැක.නමුත් මට නැටුම් සහතික ඇත.මන්ද අපේ ඉස්කෝලේ නටන උන්ට කවි කියන්නට යන්නේ මාය..ඒ වෙන මොකටත් වඩා උන් නටන්නට පුරුදු වෙන විට උන් දිහා බලන් ඉන්නටය.

මට ඉස්කෝලෙන් ලස්සනම කිත්මා නංගීය..ඊට පස්සේ භාග්‍යාය..උන් දෙන්නාටම මම ඒ බව කියා ඇත.වාසනාවකට එසේ කියන්නට මගේ හිතවත් දිවවත් අද වෙනකන් පැකිලී නැත.

කැම්පස් එක ගැන කියන්නට නොයමි.මා කැත කෙල්ලෙක් පමණක් නොව මා අඟහරු ලෝකේ එකෙක් බව මට පැහැදිලි කර දුන්නේ උන්‍ ය..ගෙවා ආ අවුරුදු හතර අවසන මට පාරේ යද්දි කුනුහරුපයක් කීවද වගේ වගක් නැති වන තුරුම උන් මාව කොටස් කර බයිට් කර තිබේ..
"කාටුන් සුදා" "මැරස්මස් බබා" වැනි දයාබර අපහාස වලට අමතරව රැයක් එලිවෙනකන් හැඬූ අවමන්ද මා රූප සොභාව නිසාම විඳ ඇත..ඒ දුක දන්නා නිසාම මම සතෙකුටවත් රූපයට විහිලු නොකරමි.

ඉතින් ඒ කී ඉස්කෝලේ හුන් කැතම කෙල්ලට මීට අවුරුදු දෙකකට පෙර අපූරු මිනිසෙක් මුණගැසිනි.ඔහු කියනා ලෙසට එසේ කොණ්ඩා වලට මල් ගසන්නට නැටුම් වලට කවි කියන්නට ලස්සන කෙල්ලන්ට ලස්සනයි කියන්නට පුලුවන් කෙල්ල ලොව සිටිනා ලස්සනම කෙල්ලය..ඇයට ආදරය කරන්නට ඇගේ හිත පමණක් වුවද ප්‍රමාණවත්‍ ය..ඒ ලස්සන හම රැලි වැටුණු තැන කොණ්ඩය සුදු උන තැන මැකී යන ලස්සනක් නොවන්නේය..."අනික උඹ මට කොහොමත් ලස්සනයි" කියා ඔහු ආදරයෙන් හිස අතගාන්නේය..

ඉතින් කණ්නාඩිය ලඟදී නැතත් ඔහුගේ දෑස් ඉදිරියේ මම මියෙන තුරු ලොව සිටින ලස්සනම කෙල්ල වී ජීවත් වනු ඇත. ❤️

සුදන්ති අනුරුද්ධ්කා සූරියහෙට්ටි

No comments:

Post a Comment